කසුරි ලියපු “කන්ද පාමුල” නවකතාව 2007 වසරේ රාජ්‍ය සාහිත්‍ය උළෙලෙදී තේරුණු හොඳම නවකතා 5 අතුරෙන් එකක්. 2007 ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනේදි ඒක මිළදී ගත්තත් කියවන්න බැරුව ඒක පොත් රාක්කෙ මුල්ලක තිබුනෙ. සුමානෙකට විතර කලින් තමයි ආයෙත් පොත දැකකෙ. බොහොම ආසාවෙන් ඒක කියවල ඉවර කළා. මටත් පුදුමයි! අවුරුදු ගාණකින් තමයි නවකතා පොතක් කියෙව්වෙ.
මං මේ ලියන්න යන්නෙ කන්ද පාමුල ගැන විචාර සටහනක් නම් නෙමෙයි. ඒ කියවද්දි මට හිතුනු දේ ගැන.
මුලින්ම කියන්න ඕනෙ පොත ලියල තියන ආකාරය ගැන. යමකු හෝ පුද්ගලයෙකු වැඩිදුර වර්ණනා කිරීම් වලින් බැහැරව, නාට්‍යමය ස්වරූපයකින් තමයි පොත ලියල තියෙන්නෙ. දෙබස් වලින් පිටු පිරිලා. ඒ වුනත් වෙදමහත්තගෙයි ඔහුගෙ ගෙදර පිරිසෙයි චරිත හරිම සියුම් විදිහට දක්වල තිබුනා. ඒ අය අප අතරෙම ජීවත් වෙන අය බවට පත්කරල. ඇත්තම කියනවනම්, ඒ චරිත අප අතරෙ ඉන්න චරිතම තමයි.
සාමාන්‍ය පවුලක එදිනෙදා සිදුවීම් ඇසුරෙන් ඒ ජීවිත විනිවිදින්න ගත්තු සාර්ථක උත්සාහයක් කියලයි මට හිතෙන්නෙ. හැමෝගෙම සිතුවිලි විවිධාකාරයි. විටෙක එක අරමුණක් කරාද විටෙක් පරස්පර විරෝධී හෝ ආත්මාර්ථකාමී අරමුණු කරාද එකම පවුලක මිනිසුන් ඇදෙන ආකාරය දක්වා ඇති අයුරු අපූරුයි.
කතාව අවසානයේ මා සිතට නැගුනු අපූර්වතම සිතුවිල්ල තමයි, මා මෙතෙක් කියවා ඇත්තෙ අතිශය සුන්දර ප්‍රේම කතාවක් යන්නයි. මං ඒ කිව්වෙ මොකද්ද කියල පොත කියවපු අය නම් දන්නව ඇති. විටිව් විට හුවා දැක්වූවත්, වඩා උත්තම ස්ථානයක තිබෙන වෙදමහත්තයාත් හාමිනේත් අතර ඇති ආලය මෙසේයැයි කතාව ඉවරවෙනතාක් කියවන්නාට කෙලින්ම පෙනෙන්ට නැහැ. එය කන්ද පාමුල සැඟවුනු අපූර්වත්වයක්.
ඔයාලත් හැකිනම් මේ පොත කියවන්න. ඒ චරිත තුළින් තමන්ගේම ජීවිත දකින්න උත්සාහ කරන්න. අප තුළම චරිත කීයක් නම් ඇත්දැයි සිතා බලන්න.
Recent Comments